ප්‍රාක් තරුවකට පළිඟු වැස්සක් …!


නිර්මාණය වෙමින් පවතින තාරකාවක් වටා එතී පවතින දූවිලි හා වායූන් අඩංගු වළාකුලක සිට එම තාරකාව මතට කුඩා කොළ පැහැති Olivine නම් ඛනිජය අඩංගු පළිඟු (ස්ඵටික ) ඇද වැටෙන බවට සාක්ෂි සොයා ගැනීමට NASA හී Spitzer අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වී තිබේ.

මෙම නිරීක්ෂණය කර තිබෙන්නේ ඔරායන් තාරකා රාශියේ ඇති HOPS-68 ප්‍රාක් තාරකාව ආශ්‍රයෙනි.තරුවක වර්ධනය වන තැටියකින් පිටත සීතල ප්‍රදේශයක මෙවැනි ස්ඵටික සොයාගැනීමක් කල පලමු අවස්ථාව මෙයයි.මන්ද මෙවැනි ස්ඵටික වර්ධනය වීමට නම් අවම වශයෙන් සෙල්සියස් 700 ක පමණ උෂ්ණත්වයක් වත් පැවතිය යුතුයි.

මෙම පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂකයෙකු වන Toledo සරසවියේ Tom Megeath පවසන්නේ Olivine ස්ඵටික නිර්මාණය වන්නට ඇත්තේ තාරකාව ආසන්නයේ බවයි.එසේ නිර්මාණය වූ ස්ඵටික තාරකාවේ වූ පිපිරීමක් නිසා තාරකාවේ පිටත තැටියේ වූ සෙල්සියස් -170 ක් තරම් සීතල ප්‍රදේශයට ගමන් කර අවසානයේදී නැවතත් තාරකාව තුලටම කඩා වැටීම වන බවයි.

මෙම ස්ඵටික පෘතුවියේ බහුලව හමුවන ෆොස්ටරයිට් ආකාරයේ ස්ඵටික බවයි නිරීක්ෂණය කර තිබෙන්නේ.මීට පෙරද තරුණ තරු අසල ග්‍රහලෝක නිර්මාණය වන තැටි වලින්ද මෙම ස්ඵටික හමු වූ බවට වාර්තා පලවිය. නමුත් ඒවා HOPS-68 තරුවේ නිරීක්ෂණය කල තරම් මධ්‍ය තරුවට දුරින් පිහිටා තිබූ ඒවා නොවීය.එසේම මෙම වර්ගයටම අයත් ස්ඵටික වල්ගාතරු අසලද නිරීකෂණය කර තිබේ. දැන් විද්‍යාඥයන්ට එම ස්ඵටික බිහිවෙන ආකාරය ගැන අදහසක් ලබාගැනීමට මෙම පර්යේෂනය ඉවහල් කර ගත හැක.

Leave a comment