බ්‍රහස්පතිගේ තරුණ විසේ..!!


මීට වසර මිලියන ගණනකට පෙර බ්‍රහස්පති ග්‍රහයා එහි තරුණ කාලයේ සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යයට හා නැවතත් ඉන් පිටතට ලෙස චලනය වෙමින් පැවති බව දැන් අනාවරනය වෙමින් පවතී.මෙම චලිතය ඒ වන විට නිර්මාණය වෙමින් පැවති සෞරග්‍රහ මණ්ඩලයට දැඩි ලෙස බලපෑම් කරමින් ග්‍රහක පටියේ ස්වභාවය හා අඟහරුගේ ප්‍රමානය වෙනස් කිරීමට සමත් වී ඇති බව සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණය පිළිබඳ නව ආකෘතියක් ඉදිරිපත් කරමින් NASA හී Goddard Space Flight Center හී පර්යෙෂක කණ්ඩායමක් ප්‍රකාෂ කරයි.මේ පිළිබඳ වාර්තා වුයේ 2011 ජූනි 05 වන දින Nature සඟරාවෙහි පල වූ වාර්තාවකිනි.

මෙම අකෘතිය Grand Tack අකෘතිය යන නමින් හඳුන්වන අතර එයට අනුව බ්‍රහස්පති බිහි වී ඇත්තේ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 3.5 ක් (සූර්යයාගේ සිට පෘතුවියට ඇති දුර =නක්ෂත්‍ර ඒකක 1) දුරිනි.ඊට හේතුව වන්නේ ඉතා විශාල වශයෙන් වායුන් මේ ප්‍රදෙශය ආශ්‍රයේ සිට සූර්යයා වටා භ්‍රමනය වන නිසාය. බ්‍රහස්පති විසින් මෙම වායුන් තම ග්‍රහනයට ගනිමින් ක්‍රමයෙන් සූර්යයා දෙසට තල්ලු වෙමින් අද අඟහරු පවතින ප්‍රදේශය වන සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 1.5 දුරට ස්ථාන ගත වී ඇත.(මේ වන විට අඟහරු බිහි වී නැත.)

නව අකෘතියට අනුව බ්‍රහස්පතිගේ මෙම චලිතය නැවතීමට හේතු වී ඇත්තේ සෙනසුරුය. සෙනසුරු බිහිවීමෙන් පසුව එයද බ්‍රහස්පති මෙන් සූර්යයා මගින් සූර්යයා දෙසට අදිනු ලැබීය. මේ නිසා විශාල ග්‍රහයන් දෙදෙනා එකිනෙකට ආසන්න වී ඇති අතර ඔවුන් දෙදෙනා අතර ඇති බල නිසා සූර්යයාගෙන් සිදු වූ බලපෑම් අඩු වී ග්‍රහයන් දෙදෙනා එකට සූර්යයාගෙන් ඉවතට චලනය වී බ්‍රහස්පති සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 5.2 ක්ද සෙනසුරු නක්ෂත්‍ර ඒකක 7 ක්ද දුරින් නැවතුනි.(පසුව වෙනත් බල නිසා සෙනසුරු සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 9.5 ක් වන අද සිටින ස්ථානයට පැමිණ ඇත.)

අසරණ අඟහරු!

බ්‍රහස්පති යම් කාලයක් ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයේ රැඳී සිටීම අඟහරු ප්‍රමාණය කෙරෙහිද බලපා ඇති බව සොයාගෙන තිබේ.අඟහරු බිහිවන්නේ පෘතුවියට හා සිකුරුට තරමක් ඈතිනි. එම ප්‍රදේශය ග්‍රහලෝක සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් අනූන පෙදෙසක්. එමනිසා සිදුවිය යුත්තේ අඟහරු විශාල ග්‍රහලෝකයක් ලෙස නිර්මාණය වීම වුවත් එය එසේ නොවී පෘතුවියටද වඩා කුඩා ග්‍රහලෝකයක් ලෙස නිර්මාණය වී තිබේ.මීට හේතුව වන්නේ බ්‍රහස්පති ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයේ රැඳී සිටි කාලයෙන් සැලකිය යුතු කොටසක් අඟහරු බිහිවීමට නියමිත් කොටසේ රැඳී සිට ඇත. මෙසේ ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයේ සිටින අතර බ්‍රහස්පති විසින් ග්‍රහලෝක නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍යද තම ග්‍රහනයට ගෙන ඇති අතර මෙසේ වැඩිපුරම අමුද්‍රව්‍ය ලබාගෙන ඇත්තේ අඟහරු බිහිවීමට නියමිත ස්ථානයෙනි.මේ හෙතුවෙන් අඟහරු හට විශාල ග්‍රහලොවක් වීමට තිබූ හැකියාව බ්‍රහස්පතිගේ විෂම චලිතය අහිමි කර තිබේ.

Leave a comment